සැනසෙන්න ඉවසන්න තමන් තමන්ටම දෙන්න පු`ඵවන් හොඳම තෑග්ග

 

ඉවසිලිවන්ත බව, වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම කෙනෙකුටම ජීවත්ව සිටින කාලය පුරාවටම අත්‍යවශ්‍ය වූවකි. මෙම ගුණාංගය ප්‍රගුණ කළ ඔබට බොහෝ ප්‍රශ්නවලින් මඟ හැරී ජීවත් විය හැකිය. එය එසේ නම් ඔබ වඩාත් ඉවසිලිවන්ත පුද්ගලයකු වන්නේ කොහොමද? අද අපි මේ ගැන කතා කරමු.


ඉවසිලිවන්තබව යනු යම් විපතකදී, කලකිරීමකට පත්වීමේදී හෝ ආවේගකාරී අවස්ථාවකට මුහුණ දුන් විට සන්සුන්ව සිටීමට ඇති හැකියාවයි.

 

 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

ජීවිතයේ මුහුණ දීමට සිදුවන දුෂ්කර අවස්ථාවලදී එනම් නිදන්ගත රෝගවලදී, අන්තර් පුද්ගල සබඳතාවලදී (ස්වාමි පුරුෂයා හෝ බිරිඳ සමග, දරුවන්, යහළුවන්, මවුපියන් සමග) මෙන්ම දිනපතා මුහුණ දෙන සිදුවීම්වලට (වාහන තදබදය, රැකියාව සම්බන්ධ කටයුතුවලදී) පවා ඉවසිලිමත්ව හෝ නොඉවසිලිමත්ව ප්‍රතිචාර දැක්වීමට සිදු වේ.


ඇතැම්හු තම පවුලේ අය හෝ ආදරණීයයන් සමග ඉවසීමෙන් කටයුතු කරති. තවත් සමහරු පිටස්තර පුද්ගලයින් සමග කටයුතු කිරීමේදී වඩාත් ඉවසිලිවන්තබවක් දක්වති. ඔබ මෙයින් කුමන අවස්ථාවකදී හෝ ඉවසීමෙන් කටයුතු කරනවා යනු ඔබ හැමවිටම ඉවසිලිවන්ත කෙනෙකු යනුවෙන් අදහස් නොකෙරේ. සමහරු සහජයෙන්ම ඉවසිලිවන්තබව රැගෙන එන අතර අන් අයට එය අඩුවෙන් පිහිටා තිබිය හැකිය.


ඉවසිලිවන්තවීම ඉතා සරල, පහසු දෙයක් ලෙස අප සිතුවද ප්‍රායෝගිකව යම් වෙහෙසක් දරා ප්‍රගුණ කළ යුත්තකි. සෑම දෙයක්ම ‘ක්ෂණික’ වී ඇති වර්තමාන ලෝකයේ (ක්ෂණික කෑම බීම, ක්ෂණික ඇමතුම් වැනි) ක්ෂණිකව ලබා ගැනීමට හුරුවීම තුළින් ඉවසිලිවන්තබව යනු කුමක්දැයි යන්න අපෙන් ගිලිහෙමින් පවතී.

 


ඉවසිලිවන්තබව හා කායික වෙනස්කම්
ඉවසිලිවන්ත බව නොමැතිවීමෙන් අපේ ශරීරය තුළඳ වෙනස්කම් රාශියක් සිදු වේ. ආතති හෝමෝන වැඩිපුර ශ්‍රාවයවීම මගින් සිරුර තුළ අවයව, පද්ධතිවල වෙනස්කම් ඇති වී හදවත් රෝග වැනි බෝ නොවන රෝගවලට අවදානමක් ඇති කරයි.

 


ඉවසීමෙන් වැඩ කරන්න බලපාන සාධක
* පෞරුෂය-, නම්‍යශීලි හා අභියෝග, අලුත් අත්දැකීම්වලට කැමති පුද්ගලයෝ වඩා ඉවසීමෙන් යුක්ත වෙති.
* ඔබ පුරුදු පුහුණු කළ ගතිගුණ - 
උදා. ආචාරශීලීබව
*  හැඟීම් පාලනය කිරීමේ හැකියාව - උදා. තරහා කළමනාකරණය
* යම් සිදුවීමකට මුහුණ දෙන අවස්ථාවේ ඔබ සිටින තත්ත්වය - උදා. මහන්සියෙන් සිටීම, බඩගින්නේ සිටීම


ඔබට කවදාවත් ඉවසිලිවන්ත කෙනෙකු විය නොහැකි යැයි ඔබට සිතුණාද? එසේ නම් මේ පියවර අනුගමනය කරන්න.
* ඔබේ කටයුතුවලදී බලා සිටින්න පුරුදු වෙන්න. උදා :- ඔබේ තේ කෝප්පය පානය කිරීමට යම් වේලාවක් ගැනීම වැනි සුළු දෙයකින් මෙය ආරම්භ කරන්න.
* වැදගත්කමක් නැති කටයුතු ඔබේ දින චර්යාවෙන් ඈත් කරන්න. සමහර විට ‘බැහැ’ කීමට බැරිකම නිසා අප කටයුතු බදා ගැනීමෙන් අනවශ්‍ය ලෙස නොඉවසිලිමත් වීමට සිදු වේ. ඒ නිසා සීමාවක් ඇතිව දවසේ කටයුතු සැලසුම් කරන්න.
* ඔබව නොඉවසිලිමත් කරන දේ ගැන දැනුවත් වෙන්න. එසේ දැනුවත් වීමෙන් එම කාර්ය ඔබට අපහසුවක් නොදැනෙන ලෙස කළමනාකරණය කර ගැනීමට ක්‍රමවේද සොයා ගත හැකියි. 
* ඔබේ ඉවසීම අඩුවන බව දැනෙන විට ඒ සඳහා ක්ෂණික පිළියම් යොදන්න. ගැඹුරින් හුස්ම ගැනීම හා සෙමෙන් හුස්ම පිට කිරීමේ ශ්වසන අභ්‍යාසය ප්‍රගුණ කරන්න. නැතහොත් ඔබ සිටින තැනින් ඉවත්ව ඇවිදීමට යන්න.
* අන් අය සමග කටයුතු කිරීමේදී ඉවසීම ප්‍රගුණ කළ හැකි සුළු දේවලින් ඉවසිලිවන්තවීම ආරම්භ කරන්න. (කෙනෙකුට පෝලිමක ඉදිරියට යෑමට ඉඩදෙන්න. ඔබට කලින් කෙනෙකුට ඇතුළුවීමට ඉඩදෙන්න.
* ඔබේ ඉවසීම නැති කරන උද්වේගකර අවස්ථාවෙන් මඳකට ඈත්වෙන්න. එසේ නොහැකි නම් ඔබේ අවධානය මඳකට වෙනතකට යොමු කරන්න. 
* ඔබට හදිසි කාර්යයන් කිහිපයක් තිබුණත් ඒවා අතර සුළු විවේකයක් අනිවාර්යයෙන් ලබාගන්න. 
* ඉවසිලිවන්ත හොඳ අසන්නෙකු වන්න. මෙය ඉවසීම ප්‍රගුණ කළ හැකි පහසු ක්‍රමයකි.
* ධනාත්මක ස්වයං කතාබහක යෙදෙන්න. ඔබේ ඉවසීම අඩුවන බව දැනෙන විට මෙය “මට කළ හැකියි. ඉතිරි වූ කාලයෙන් කෙසේ හෝ කළ හැකියි” යනුවෙන් තමාටම පවසා ගන්න.
ඉවසිමගුණධර්මයක් මෙන්ම, පරිපූර්ණ හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට නැතුවම බැරි ගුණාංගයකි. ඉවසීමෙන් යුතු කෙනෙකු ලෙස ජීවත්වීමට පුරුදු වන්නේ නම් අපගේ ජීවිතයේ සෑම පැතිකඩක්ම දියුණු වේ.
එනිසා අප සැවොම මඳක් අපගේ වේගය අඩු කොට ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. එවිට අප අඩුවෙන් ආතතියට පත්වෙනවා සේම ජීවිතයට පරිපූර්ණබවක් ලැබෙනු ඇත. 

 

 සුබෝධිනී පෙරේරා

Sirikatha Fashion Read Previous

Sirikatha Fashion

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ Read Next

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ

Realted Post

Leave a comment